මහාවංසය හා වංසත්‍ථප්පකාසිනිය පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක්.
ශ්‍රී ලංකාවේ පුරාණ හා මධ්‍යතන ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී මූලාශ්‍රයක් වශයෙන් මහාවංසය ඉතා වැදගත් වේ. මෙය ක්‍රි.ව. 05 වන සියවසේ දීඝසන්ද නම් පිරිවෙනෙහි වැඩ විසූ මහානාම නම් තෙර නමක් විසින් රචනා කර ඇත. කාලානුරූපීව මහාවංසයේ අගය වැඩිවීමත් සමග ක්‍රි.ව. 1833 දී එය යුරෝපීය භාෂාවකට පරිවර්‍තනය කරන ලදී. මෙම කෘතිය විවරණය කරමින් ලියා ඇති ටීකාව වංසත්‍ථප්පකාසිනිය වේ. වංසත්‍ථප්පකාසිනිය ආරම්භයේම මෙය මහාවංස පද්‍යයන්ට වර්‍ණනාවක් බව දක්වා ඇති අතර කෘතිය අවසානයෙහි “පද්‍යපදොරුවංස අත්‍ථවර්‍ණනා වංසත්‍ථප්පකාසිනි” යනුවෙන් දක්වා ඇත. පද්‍යපදොරුවංස යනු පද්‍යයෙන් කරන ලද ඌරුවංස හෙවත් මහාවංස යන්නයි. මහාවංසය රචිත කාලය හා කර්‍තෘ පිළිබඳව නිගමනයකට එළෙඹ සිටියත් වංසත්‍ථප්පකාසිනියෙහි එවන් පැහැදිලි එකඟතාවයක් තවමත් නැත. මහාචාර්‍ය්‍ය ගයිගර් හා මහාචාර්‍ය්‍ය මලලසේකර මේ පිළිබඳව එකිනෙකට වෙනස් අදහස් ඉදිරිපත් ඇත. 1837 හා 1838 වර්‍ෂවල සිට ලංකාවේ ප්‍රවාදගතව වී පවතින්නේ මහාවංස කර්‍තෘ මහානාම හිමියන්ම මෙහි කර්‍තෘවරයා වන බවයි. ටීකාවේ කර්‍තෘත්වය පිළිබඳ “මහානාම” නාමය ප්‍රවාදගතව පැවතෙන හෙයිනුත්, දෙවන මහානාම කෙනකුන් බුද්ධගයා ලිපියෙහි සඳහන්වන හෙයිනුත් දෙවන මහානාම හිමියන් පටිසම්භිදා මග්ගට්ඨ කථාවේ කර්‍තෘවරයා ලෙස හඳුනාගත හැකි බැවිනුත් 7වන හා 8වන සියවසේ ජීවත් වූ දෙවන මහානාම හිමියන්ම ටීකාවේ කර්‍තෘ බව මහාචාර්‍ය්‍ය මලලසේකර මහතා සඳහන් කරයි.නමුත් කර්‍තෘත්වය පිළිබඳ මතය පිළිගැණීම දුෂ්කරය.
වංසත්‍ථප්පකාසිනියෙහි කර්‍තෘ විසින් මහාවංසයේ කර්‍තෘවරයාව “ආචරිය” යන නමින් හඳුන්වා තිබීමෙන් තමා මහාවංස රචකයාගෙන් අන්‍යයෙකු බව පැහැදිලිවම පෙන්වා දී ඇතයි වංසත්‍ථප්පකාසිනිය පිළිබඳ විශේෂ පර්යේෂණයක යෙදුණු එඞ්මන්ඞ් ස්නයිඩර් පෙන්වා දෙනු ලබයි. තවද මහාවංස පෙළ සමඟ නොගැලපෙන අවස්ථා බොහෝ ප්‍රමාණයක් ඇති බැවින් මෙය එකම කර්‍තෘ කෙනෙකුගේ නොවන බව තහවුරු වේ. මහාවංසයේ දැක්වෙන “සාම ගල්ල” මහාවංස ටීකාවේ සඳහන් වන්නේ “මොරගොල්ල” යනුවෙනි. කර්‍තෘ සේම වංසත්‍ථප්පකාසිනිය රචිත කාලය පිළිබඳවද විවිධ මත ඉදිරිපත් වී ඇත. විශේෂයෙන් වංසත්‍ථප්පකාසිනියෙහි අන්තර්ගත මහාබෝධිවංසත්‍ථකථාව ක්‍රි.ව.10 වන සියවසේ රචිත පාලි බෝධිවංසයම යැයි කල්පනා කළ ගයිගර් එම නිගමනය මත මෙය ක්‍රි.ව. 1000ට පසුව ලියන ලද්දක් බව පැවසීය. නමුත් පාලි බෝධිවංසය ක්‍රි.ව. 10 වන සියවසේ රචිත බවට පිළිගත හැකි ක්‍රමවත් සාධක නොලැබේ. වංසත්‍ථප්පකාසිනියෙහි කතුවරයා මහාවංසයෙහි පසුකොටස වූ චූලවංසය දැන සිටි බවට කිසඳු සාධකයක් නොලැබෙන නිසා මෙය ක්‍රි.ව. 11 වන සියවසට පෙර ලියූවක් බව සිරිමා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.තවද ටීකාව අවසානයෙහි කතුවරයා පවසන දෙයින් ග්‍රන්ථය රචිත කාලය පිළිබඳ උපකල්පනයකට පැමිණිය හැකිය. “විදෙසිස්සරියභයදුබ්බුට්ඨිභයරොග භයාදීවිවිධඅන්තරායයුත්තකාලෙ’පි අන්තරායෙන නිට්ඨානං පායාතා” යන පාඨයට අනුව විදේශ ආධිපත්‍යය, දුර්භික්ෂය, රෝගභිය ආදී අනේක අන්තරායන්ගෙන් යුක්ත කාලයකි. ඉතිහාසය පරීක්ෂාවේදී මේ සිදුවීම් හත්වන සියවසට අදාල බව පැහැදිලිය.
මේ ආකාරයට වංසත්‍ථප්පකාසිනිය රචිත කාල වකවානුව පිළිබඳ විවිධ මත ඉදිරිපත් වී ඇතත් මේ පිළිබඳ බොහොමයක් පර්යේෂණ කළ විද්වතුන්ගේ මතය වන්නේ ක්‍රි.ව. 09 වැනි සියවසේ අවසාන භාගයත් 10වැනි සියවසේ මුල් අවධියත් වංසත්‍ථප්පකාසිනියේ රචනා අවධිය ලෙස වඩාත් සැළකිය හැකි බවයි. මහාවංසය ආරම්භයේම පැරැන්නන් විසින් කරන ලද මුල් කෘතියෙහි ඉතා දීර්ඝ හා කෙටි විස්තර ඉවත් කර, සහ පුනරුක්ත දෝෂ අඩුපාඩු බැහැර කර එය ලියන බව දක්වයි. මහානාම හිමියන් මෙසේ දක්වන පරැන්නන්ගේ කෘතිය කෙබඳු ස්වරූපයේ එකක් ද? එය හා මහාවංසය අතර පැවතියේ කිනම් සබඳතාවයක් ද? යන්න අවබෝධකර ගැනීමේදී වංසත්‍ථප්පකාසිනිය ඉවහල් වේ.
මහාවිහාරීය අචාර්‍ය්‍යවරුන් විසින් පවත්වාගෙන යන ලද එම පැරණි කෘතිය වංසත්‍ථප්පකාසිනියෙහි සීහලට්ඨකථාමහාවංසය, සීහලට්ඨකථා, අට්ඨකථා යන නම් වලින් දැක්වේ. මෙය මහාවිහාරීය සම්ප්‍රදායට අයත් හෙළබසින් රචිත කෘතියක් බවට අවිවාදයෙන් පිළිගත හැකිය. බුද්ධඝෝෂ අටුවා තුළ ද දැක්වෙන සීහලට්ඨකථාව මෙයම විය හැකිය. මහානාම මුල් කෘතියේ දක්වා ඇති විස්තර අඩුවක් නොකර දොස් පමණක් ඉවත් කර මහාවංසය ලියන ලද බව වංසත්‍ථප්පකාසිනිය සඳහන් කරයි. මෙයින් මෙම කෘති දෙකේ සම්බන්ධය මැනවින් ගම්‍ය වේ. පැරණි සිංහල මහාවංසයේ පැවති දෝෂ තුනක් නිසා මහානාම හිමියන් යලිත් එය රචනා කරන බව දැක්වූවත් මුල් කෘතියෙහි පැවති දෝෂයන් ගැන ක්‍රමවත් අවබෝධයක් වංසත්‍ථප්පකාසිනියෙන් ලැබිය නොහැකිය.
මහානාම හිමියන්ගේ විස්තරයට අනුව පැරණි මහාවංසයෙහි කාරණයට වැඩි අදාල බවක් නොවූ එබඳු අති දීර්ඝ විස්තර කෙටිකර ඇති අතර ඇතැම් කරුණු සම්පූර්ණයෙන් ඉවත් කර ඇත. මධ්‍යස්ථව සළකා බලන විට මහානාම කෙටිකළ හා ඉවත් කළ කරුණු ඓතිහාසිකමය වශයෙන් වැදගත්කමක් ලබන ඒවා බව පෙනී යයි. මෙම සංශෝධනය සඳහා ඒ හිමියන් භාවිත කළ කෝදුව ආගමික අභිප්‍රාය බව වටහා ගැනීම අපහසු නොවේ. නමුත් සීහලට්ඨකථාවේ දැක්වෙන දෙවැනි හා තුන්වැනි දෝෂයන් පිළිබඳ වංසත්‍ථප්පකාසිනියේ වැඩි වැටහීමක් නැත. සීහලට්ඨකථාවේ දිගු විස්තර මහානාම හිමියන් කෙටියෙන් ඉදිරිපත් කළ අවස්ථා පිළිබඳව “අට්ඨකථාවේ කියන ලදී” “සීහලට්ඨකථාවේ කියන ලද පරිදිය” වශයෙන් වංසත්‍ථප්පකාසිනියෙහි සඳහන් වුවත් ඇතැම් විට කිසිවක් නොදැක්වූ අවස්ථාද ඇත. එහිදී ටීකා කතුවරයා උපුටාගත්තේ අට්ඨකථාවෙන් යැයි ස්ථිරව තේරුම් ගැනීම අපහසුය.
මහාවංසයෙහි සෑම පරිච්ඡේදයකම අවසානයෙහි “හුදී ජනයා පහන් සංවේග පිණිස” රචිත බව සඳහන් කරයි. එහෙත් ටීකාවේ ඉහත පාඨය දක්නට නැතත් භාවජනකමය අරමුණු ඇතුලත් නොවේයැයි කිව නොහැකිය. මහාකාව්‍යයක් නොවුනත් එබන්දක ඇති වීරයා පිළිබඳ අතිශයෝක්තියක් මහාවංසයේ මෙන්ම වංසත්‍ථප්පකාසිනියේ දක්නට හැකිය. සමීපම උදාහරණය වන්නේ දුටුගැමුණු රජු පිළිබඳ ටීකාවේ ඇති දීර්ඝ විස්තරය හා අලංකාර ශෛලීන්ය. වර්තමාන අර්ථය අනුව මෙහිදී පෙනීයන්නේ ඉතිහාසය පිළිබඳව නිශ්චිත වූ අරමුණක් මහාවංසයෙහි මෙන්ම වංසත්‍ථප්පකාසිනියෙහි නොදැක්වෙන බවයි. තවද මිථ්‍යාව පිළිබඳ කල්පිතයන් මේ ග්‍රන්ථද්වය තුළම දැකිය හැකිය. මහාවංසයෙහි මහා සම්මත පරම්පරාව ගැන දක්වා ඇත්තේ බුදුරදුන් එම වංශයෙහි උපත ලැබූ බව පෙන්වීමටය. මහාවංසයෙහි මෙසේ සංක්‍ෂේපයෙන් දැක්වෙන මේ කරුණු ටීකාවෙහි ඉතා සවිස්තරව ඉදිරිපත් කර ඇති අතර මහාසම්මත රාජවංසය පිළිබඳ වැඩි තොරතුරු බොහොමයක් මිථ්‍යාත්මක වීරයන් පිළිබඳ සැමරීම් වේ. මොවුන්ගේ රාජවර්‍ෂ පිළිබඳ විස්තරයද විශ්වසනීයත්වයෙන් තොරය. මහාවංසයටත් වඩා ටීකාව මෙම මිථ්‍යා වීරයන් පිළිබඳ තොරතුරු උපුටාගන්නට ඇත්තේ පැරණි මහාවංසයෙන් බව සිතිය හැකිය.
මහාථූප උත්සවය සඳහා ඉන්දියාවෙන් භික්ෂූන් වහන්සේලා සෘද්ධියෙන් වැඩමවීම, මහාථූප ධාතු නිධානෝත්සවය සඳහා ධාතු වැඩමවීමට සෝණුත්තර තෙරුන් දෙව්ලොවට හා නා ලොවට වැඩම කිරීම, භද්දජ තෙරණුවන්ගේ සෘද්ධි ප්‍රාතිහාර්ය, භික්ෂූන්ගේ සෘද්ධි බලයෙන් භාතිය රජුට මහාථූප ධාතු ගර්භය සියසින් දැකීමට සැළැස්වීම ආදී විශ්මය ජනක ප්‍රාතිහාර්යන් මහාවංසයට අමතරව ටීකාව තුළ ද දක්නට ලැබේ. විශේෂයෙන් මහාවංසයේ යම් දෝෂයකින් අඩුවෙන් විස්තර කරන වැදගත් කරුණු වංසත්‍ථප්පකාසිනියේ ද දක්නට ඇත. එහිදී, අභයගිරියේ ආරම්භය, ත්‍රිපිටකය ග්‍රන්ථකරණය, වළගම්බා රාජ්‍ය කාලයේ සිදුවූ දේශපාලන අර්බුදය වැනි ඓතිහාසික වටිනාකමක් ඇති කරුණු අල්ප වශයෙන් දක්වා ඇත. නැතහොත් විස්තර නැතිතරම්ය. වසභ රජුගෙන් පසුව දේශපාලන තන්ත්‍රයේ ඇතිවන අර්බුදකාරී තත්ත්වයන් හා ඔහුගේ උතර, දුටග පුතුන්පිළිබඳව මහාවංසය මෙන්ම ඌණ වාර්‍තා සපයන වංසත්‍ථප්පකාසිනිය පළවන සිරිනාගට රාජ්‍ය උරුමය සම්බන්ධ අයිතිය මහානාම හිමියන් මෙන්ම ටීකාවද නිවරදිව දැන නොසිටියේය.
විශේෂයෙන් කරුණු රැස් කිරීමේදී මහාවංසයට වඩා විවිධ සම්ප්‍රදායන්ට අයත් මූලාශ්‍රයන් කෙරේ ටීකාව සැළකිල්ලක් දක්වන අතර ඒ මඟින් බොහෝ තොරතුරු රැසයුම් කර ඇත. මහාවංස කර්තෘවරයන් යොදාගත් ආශ්‍රීත මූලාශ්‍ර පිළිබඳව අද දැකගන්නට නොහැකිය. එහෙත් වංසත්‍ථප්පකාසිනිය කිරීමෙහිලා බුදුගොස් හිමිගේ කර්තෘත්වය දරන සමන්තපාසාදිකාව, සුමංගලවිලාසිනිය හා විශුද්ධිමාර්ගය යන කෘතීන් ද භාවිත කර ඇති බව පෙනෙයි. මෙම මූලාශ්‍රයන්ට අමතරව බෝධිවංසට්ඨකථාව, චේතියවංසට්ඨකථාව, සහස්සවත්ථු අට්ඨකථාව, දීපවංස අට්ඨකථා, චූල සීහනාද සූත්‍රවර්‍ණනා සීහල අටුවාව, ගණ්ඨිපදාර්ඨ වර්‍ණනාව, සීමාකතාව සහ අන්‍ය මතවාද ද ටීකාව රචනා කිරීමෙහිලා කර්තෘ විසින් පරිශීලනය කළ බව විද්‍යමාන වේ.
මහාවංසය හා වංසත්‍ථප්පකාසිනිය අතර යම් දුර්වලතා පැවතියත් ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් මෙහි ඇති අගය සුවිශේෂිතය. මහාවංස කතුවරයා ‘අතිවිත්ථාර’ යැයි සළකා සංක්ෂිප්තව ඇතුලත් කර ඇති කරුණු වංසත්‍ථප්පකාසිනියේ විස්තර වශයෙන් දක්වයි. ඒ අනුව මහාවංසයෙහි එකොළොස්වන පරිච්ඡේදයෙහි දේවානම්පියතිස්ස රජු රජකමට පත් වී ටික කලකින් මුතු මැණික් ආදී පඬුරු අරිට්ඨ කුමරු හරහා අශෝක රජු වෙත යැවූ බවත් පෙරළා අශෝක රජු අරිට්ඨ ඇතුළු පිරිසට තාන්නමාන්න හා පිළිපඬුරු දුන් බවත් එහි සඳහන්ය. මේ පිළිපඬුරු අතර රාජ්‍ය අභිශේකය සඳහා අවශ්‍ය පංච රාජ කකුධ භාණ්ඩ සියල්ලක්ද වීය. මෙහිදී ටීකා කතුවරයා මහාවංසයෙහි වැදගත් සේ නොසැලකූ නමුත් ඉතා වැදගත් කාරණයක් ගෙනහැර දක්වයි. එනම් ලංකාවේ රජවරුන් රජකමට පත්වීමේ සංකේතය ලෙස නව යෂ්ටියක් දැරූවත් ක්‍රමවත් අභිශේක කිරීමේ සිරිතක් එවකට නොපැවති බවයි. වංසත්‍ථප්පකාසිනි කතුවරයා මෙම පුවත ගෙනහැර දැක්වූයේ චූලසීහනාද සුත්තයට කරන පැරණි හෙළ අටුවාවෙන්ය.
දීපංකර බුදුන්වහන්සේගේ සිට කාශ්‍යප බුදුන්වහන්සේ දක්වා බුදුන්වහන්සේලා විසිහතර දෙනෙකු පිළිබඳව මහාවංසයේ දැක්වේ. මහාවංස ටීකාවෙහි මේ බුදුවරුන් පිළිබඳව දීර්ඝ විස්තරයක් සපයා ඇත. දීපංකර බුදුන්වහන්සේගේ වෘතාන්තය දෙවන පරිච්ඡේදයට ඇතුලත් කර ඇති අතර කාශ්‍යප බුද්ධ කතාවෙන් පසුව ගෞතම බුදුන්වහන්සේගේ කතාව ආරම්භකර බුද්ධත්වය දක්වා කතාව සැකෙවින් දක්වා ඇත.මහාවංසයෙහි තෙවන පචච්ඡේදයෙහි ප්‍රථම සංගායනාව ගැන සඳහන් වේ. එම වැදගත් තොරතුරට ටීකාවෙන් එකතුවන්නේ මෙම සංගායනාව ‘ථෙරිය’ යන්නට අමතරව පඤ්චසතිකා යන නාමයෙනුත් හඳුන්වා ඇති බවයි. 500ක් තෙරවරුන්ගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වූ බැවින් ඒ නම ලැබී ඇත. මහාවංසයේ සිව්වැනි පරිච්ඡේදයෙහි දෙවන සංගායනාව විස්තර වේ. මෙහිදී ටීකාව විසින් විවාදයට ලක් වූ දස වස්තුවලින් කිහිපයක් විස්තර කරනු ලබයි. අසෝක රජුගේ අනුග්‍රහයෙන් පැවැත්වූ තෙවන සංගායනාව පිළිබඳ මහාවංස විස්තරයට වඩා අමුතුවෙන් කරුණු ටීකාවෙහි නොදැක්වේ. නමුත් ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා සමන්තපාදසාදිකාව කියවන ලෙස ටීකාව යොමුකරයි. ටීකාවේ ඇති ඇතම් පාඨ සමන්තපාසාදිකාව හා සැසදේ.
මහාවංසයෙහි පස්වන පරිඡේදයෙහි ආචරිය පරම්පරා පිළිබඳව, මොග්ගලීපුත්තතිස්ස හිමියන් මනුෂ්‍ය ලෝකයට සම්ප්‍රාප්ත වීමේ කතාවෙහි කියවේ. එනම්, උපාලි, දාසක, සෝණක, සිග්ගව හා මොග්ගලීපුත්තතිස්සයි. දෙවන සංගායනාව සම්බන්ධයෙන් සබ්බකාමී, යස හා රේවත යන නම් ද දක්වා ඇත. මෙම නම්වලට අමතරව ටීකාවේ සිග්ගව හා චන්දවජ්ජි යන දෙදෙනා පිළිබඳවත් සිග්ගවගේ පියා සිරිවඞ්ඪ නැමැත්තෙකු බවත් දක්වයි. නිකායන්ගේ ආරම්භය ගැන ද මහාවංසයේ පස්වන පරිච්ඡේදයෙන් තොරතුරු ලැබේ. මෙයට අමතරව ටීකාවේ මහාසාංඝික, පඤ්ඤත්තිවාදී හා ඛාහුලික නිකායන්ගේ ප්‍රචලිතව පැවති මතවාද ඉදිරිපත් කරයි.
මහාවංසයේ හතරවන පරිච්ඡෙදයේ කාලාසෝක පිළිබඳව දැක්වෙන අතර පස්වන පරිච්ඡෙදයේ කාලාසෝක රජුට පුතුන් දසදෙනෙකු සිටි බවත් ඔවුන්ගේ අවෑමෙන් නවනන්දයන් රාජ්‍ය විචාල බවත් දැක්වේ. මෙම නවනන්දයන්ගේ අවසාන පාලකයා විශාල ධනයකට උරුමකම් කිවූ ධනනන්ද නැමැත්තෙකි. චාණක්ක නැමැති බමුණෙකු විසින් ධනනන්දව බලයෙන් පහකර මොරිය වංසයට අයත් චන්ද්‍රගුප්ත නැමති කුමාරයෙක් රජකමට පත්කර ඇත. චාණක්ක පිළිබඳව ටීකා කතුවරයා ඉතා දීර්ඝ විස්තරයක් සපයන අතර එහි ධනනන්ද හා චාණක්ක අතර විරසකයක් තිබූ බවත් පෙන්වා දෙයි. තවද ටීකාවෙහි චන්ද්‍රගුප්ත ගැන ද දිගු විස්තරයක් දැකවේ. චාණක්ක හා චන්ද්‍රගුප්ත පිළිබඳව මෙම තොරතුරු ටීකාව සපයාගත්තේ උත්තරවිහාරට්ඨකථාවෙන් යැයි දක්වා තිබුණත් චාණක්ක පිළිබඳව ස්වල්ප විස්තරයක් හැරෙන්නට සෙසුකරුණු මහාවිහාර අට්ඨකථාවෙන් උපුටා ගෙන ඇති බැව් පෙනේ.
මහාවංසයෙහි හයවන හා හත්වන පරිච්ඡේද තුළ විජයාගමනය හා එම කතාව ඇතුලත්ය. විජය රජු පැමිණියේ ඉන්දියාවේ කිනම් ප්‍රදේශයෙන් දැයි දැක්වීම ගැටළු සහගතය. ඇතම් විට ඒ වයඹ දිග ඉන්දියාව විය හැකිය. මහාවංස ටීකාවෙහි විජයාගමනයත් ඔහුගේ මුතුන් මිත්තන් හා ලක්දිව ක්‍රියාකාරකම් පිළිබඳවත් සම්පූර්ණයෙන් විස්තරයක් ඉදිරිපත් කර ඇත. මහාවංසයේ විජය රජුගේ විස්තරවලට ටීකාවෙන් ද යම් තොරතුරු ලැබේ. බොහෝ විට ඒවා නාමයන් ගැනය. ඒ අනුව සිංහබාහුගේ මව සුප්පා දේවිය විය. ඇගේ මස්සිනා වූයේත් පසුව ඇය සරණ බන්ධනය ගත්තේත් අනුර නොහොත් අනුරක්ඛ නැමැත්තෙක් විය. තවද කුවේණි පිළබඳ කතාවෙහි බැල්ලියක වෙස් ගත් ඇයගේ සේවිකාවගේ නම සීසපාති නම් බව ටීකාව දක්වයි. තවද ලංකාපුර යකුගේ නම මහාකාල සේන බවත් ඔහුගේ බිරිඳ ගොණ්ඩා බවත්, සිරිසවත්ථු පුරයේ යක්ෂ පුත්‍රයෙක් හට සරණ පාවා දුන් දියණිය පෝල මිත්තා වූ බවත් පවසයි. විජයට දාව කුවේණියට උපන් දරුවන්ගේ නම් ජීවහත්ථ හා දිපෙල්ලා ය. විජය රජුගෙන් පසුව දේවානම්පියතිස්ස රජු දක්වා පාලකයන් ගැන ටීකාවේ දැක්වෙන්නේ අට්ඨකථාවෙන් ගත් තොරතුරුය. සාමාන්‍යයෙන් බලන විට දේවානම්පියතිස්ස හා මහින්ද වෘතාන්තවලට මහාවංසය දී ඇති විස්තරවලට වඩා ටීකාව කරුණු ගෙනහැර දක්වයි. තිස්ස රජුගේ අභිෂේකය පැවැත්වූයේ මග්ගසිර මාසයෙහි පුරපස පළමු දිනයේ බවත් එම ස්ථානය ඡාතපබ්බත වූ බවත් දක්වා ඇත. තිස්ස රජුගේ රාජාභිෂේකය සම්බන්ධයෙන් වැඩි විස්තර චූලසීහනාද සුත්තවර්ණනාවෙන් උපුටාගන්නා ටීකාව ක්‍රමික අභිෂේකයක් කරන ප්‍රථම රජු දේවානම්පියතිස්ස බව පවසයි.
මහාවංසයේ 13වන පරිච්ඡේදයේ 8වන ගාථාවෙහි සිට මහින්දෝත්පත්තිය ගැන විස්තර ඇතුලත් වේ. එහි මවගේ නම වේදිස දේවිය වනබවත් පියා දේව වන බවත් පෙන්වා දෙයි. 15 වන මහාවංස පරිච්ඡේදයට විවරණ සපයද්දී ටීකාව තුළ තිස්ස රජුගේ රජ මාළිගය පිහිටා ඇත්තේ මහාබෝධිඝරයට පසු පසින් පිවිසෙන ද්වාරයට පිටුපසින් බව දක්වා ඇත. මහාවංසයේ 21වන පරිච්ඡේදයේ මුල් ගාථා ගැන එනම් උත්තිය රජුගෙන් පසු රජය ගත් අය පිළිබඳව ටීකාවෙහි තොරතුරු ඇතත් ඒවා බොහොමයක් ව්‍යාකූල වේ. ටීකාවෙහි අසේල ගැන කළ විස්තරයෙහි මුටසීව රජුගේ පුතුන් නව දෙනාගේ නම් දක්වා ඇත. එනම්, අභය, දේවානම්පියතිස්ස, උත්තිය, මහාසිය, මහානාග, මත්තාභය, සූරතිස්ස, කීර සහ අසේල යනුවෙන්ය. දුටුගැමුණු පිළිබඳ දක්වන විස්තරයේත් ඇතම් වැදගත් ඓතිහාසික කරුණු ටීකාවෙනුත් සොයාගත හැකිය.
විශේෂයෙන් මහාවංසයෙහි 33 සිට 37 දක්වා පරිච්ඡේද පිළිබඳව පොදුවේ සළකන විට කියවීමට රුචියක් නැති වාර්‍තාමය ස්වරූපයක් උසුලයි. මේ පරිච්ඡේද පිළිබඳව ටීකාවේද එතරම් කරුණු එකතුකිරීමක් නොමැත. මහාවංසයේ 33 පරිච්ඡේදයේ ඇති සාලිය අසෝකමාලා පෙම් වෘතාන්තය ටීකා කතුවරයා ඉදිරිපත් කරන අතර එය ජනශ්‍රැතියෙන් ගත් එකක් බව පෙනේ. මහාවංසයේ ඇති දුට්ඨගාමණීගෙන් පසු රජු පැමිණි පාලකයන් පිළිබඳවත් ඉන් අනතුරුව, අනුලා බිසව ගැන, චන්ද්‍ර මුඛසිව සහ ඇතෙකු පිළිබඳ කතාව, සංඝබෝධි රජ පිළිබඳ විස්තරය, ධම්මරුචික නිකායේ බිහිවීම හා එම නිකායිකයන් දැරූ මිථ්‍යා මතවාද පිළිබඳවත් මහාවංසය සපයන විස්තරයත් තවත් තොරතුරු ඇතුලත්ව වංසත්‍ථප්පකාසිනිය ගෙන හැර දක්වයි. මේ අනුව නිබන්ධ මාතෘකාවට අනුව මහාවංසය හා එහි ටීකාව වන වංසත්‍ථප්පකාසිනිය සංසන්දනය කළ අතර ඓතිහාසිකමය වශයෙන් ග්‍රන්ථ දෙක තුළම ඇති තොරතුරු ඉතා වැදගත් වන බව පැහැදිලි වේ.
Comments
Post a Comment